Sunday, March 25, 2012


මිනිසුනි දුර් ගුණ පාන්නේ ඇයි?


උඩින් හිනාවී හොඳ හිත      පෙන්වා
යටින් උගුල් ඇද අන් සිත්       රිදවා
හිටියත් බේරී හිත වද           දෙනවා
වැල නොකැඞී දුක් කරදර      එනවා


ඇවිලෙන දුක් ගිනි සිත් තුල      ඇත්තේ
ඇයි අද සැනසුම් සුවය      නොමැත්තේ
ගින්නක් නැති තැන දුමක් නොමැත්තේ
කළකම් දොසකින් මෙය හට     ගත්තේ


සිතමින් අත ලඟ වාසි              ලබන්නට
අන් අයෙකුගෙ තැන නැති  කර  ලන්නට
කළොත් කුමන්තර එහෙනම්      අද හෙට
සිදුවෙනවාමයි කරුමෙ          ගෙවන්නට


  මේ හැම විපතට මූලික            වන්නේ
 සිතමයි ඒ බව සිහිකර              ගන්නේ
 රහසින් වත් අන් සිත්   නොපෙලන්නේ
හොඳ අය එහෙමයි සැනසී         ඉන්නේ


අඹයක් සිටුවා ගොයමක්                පැතුවද
නොහොඳක් කර සැනසෙන්නේ කෙළෙසද
හොඳ හිත වපුරා දිවි ගෙවතොත්            අද
යටපත් වේ ඉන් දුක් කරදර                   වද


       
 රහසින් වත් අන් සිත් තුල           කරදර
 මතුවන විදියේ කළොත්        කුමන්තර
 පළඳා ගත්තත් යන්තර             මන්තර
 වැල නොකැඞී පසු පස එයි         කරදර


 පෙර කළ අකුසල කර්මය        මතු වේ
 තව තව අකුසල් සිත් ඇයි        පිරුවේ
 මෙත් සිත් සමසේ සිත් තුල      දැරුවේ
 එහෙනම් දුක් අපලය ඉන්         දුරුවේ


 කේලම්- නැති දොස්- ඉස්මතු   කරලා
 කීමෙන් සිත් බිඳ සමගිය        කඩලා
 රජ වෙන්නට ඔබ අන් අය   පෙලලා
 සිතුවොත් ඔබටත් එයි දුක්    පෙරලා


  මිනිසත් බවෙහී අගය     නොදන්නෝ
නොමිනිස් කම් හී ඇලී     ගැලෙන්නෝ
සදහම් ගුණ නිති පුරුදු         කරන්නෝ
බුදුන් දකින්නෝ- නිවන්     දකින්නෝ

No comments:

Post a Comment