Saturday, March 31, 2012


පන්සල ඇතුලේ දේවාලේ ඇත දේවාලේ තුල පන්සල් කිසි නැත ඒ ඇයි?


පන්සල ඇතුලේ දේවාලේ        ඇත
දෙවාලේ තුල පන්සල් කිසි       නැත
මේ වෙනසට හේතුව විමසා      නැත
ගිහියෝ යති ඔස්සේ මිත්යා        මත


හින්දු බැතිමතුන් හට එම          ආගම
දැඩි විශ්වාසයි සිය පණ          වාගෙම
ඒ හින්දා අදහති එම                 දහමම
නොසොයා අන් සරණක් හෝ   ආගම


බොදු ගිහියෙනි කිම වෙලා   තියෙන්නේ
අන් සරණක් ඇයි මිස      තෙරුවන්නේ
බුදු මග හරි හැටි වටහ       නොගන්නේ
දේවාගම් පසුපස දිව               යන්නේ


ඔන්න බුදුන් යයි මල් ටික    තියලා
මාරු කාසි ටික කැටයට        හලලා
බුදු මැදුරින් යන ආපසු         හැරිලා
සැදැහැවතුන් දේවාලෙහි       පිරිලා


එතැනදි ඔවුනට හදිස්සි        නැත්තේ
කපුවාගෙන් ආසිරි ලැබ         ගත්තේ
තව තව ලැබෙන්ට යයි මතු  මත්තේ
යදින යැදුම් සීමාවක්          නැත්තේ


දෑත් මුදුන් දී දෙවියන්             නමදින
ඇස් පිය නොහෙලා ගතු කම්    පවසන
අඳ බැතියන්ගේ දුක් දොම්නස්    ගැන
අහන්න බලන්න මදි වේ ඇහැ   කණ


මුහුණු සයක් කඳ සුරිඳුට        ඇති වෙද
සක් දෙවිඳුනි ඇස් සහසක්      ඇති වෙද
සසරේ පෙර පව් පින් පල       නොලදද
දෙවොලෙහි යදින්න විලි බිය  නැතිවද


තෙරුවන මිස අන් සරණක්   නැත්තේ
ඒ අයුරිනි බණ දහම          උගත්තේ
ඇයි අද ඒ බණ මතකයෙ       නැත්තේ
හඞා හැපෙනවා දෙවියන්         මත්තේ


වටිනා කම් ඇති රුපියල්           නෝට්ටු
සුවඳැති කුසුමන් පැහැපත්    පොහොට්ටු
පලතුරු කැවිලිද වට්ටියේ       තෙහෙට්ටු
පිලිගන්නට හැර දෙවොලේ        ගේට්ටු


සුවඳැති මල් හා පලතුරු            කැවිලිද
දෙවියන් හට මොන කාසිද         පඞුරුද
ගැත්තන්ගෙන් ගැලවීමක්         නැතුවද
දෙවියන් දෙවොලෙන් පිටමං        වී අද


අත මිට සරුවන- බෙල්ල         මහත් වන
ඉල ඇට නොපෙනෙන- උදරය   පිම්බෙන
ගෙල වට රන් වැට- සරුවට        දිස්වෙන
දෙවොලේ කපුවා දෙවියෙකි       ලත් පින


දෙවියන් නැති දෙවොලට       රිංගාලා
යක්-බූ-පෙරේතයින් වැහි       වැහැලා
අඳ බැතියන් පුද දෙන පුද          කාලා
ගැත්තන්ගේ ඇඟටත් උන්      වැහිලා


අවිදු අඳුරු මෝහෙන්         මත් වීලා
දසැඟිල්ලෙම රන් මුදු          පුරවාලා
සැප විඳ කොතෙකුත්        සූරා කාලා
දෙවොලේ දායක             මුදලාලීලා


දෙවියන්ගේ නම් විකුණා      කන්නේ
කූට උපා මං වේ              කපුවන්නේ
මේ තතු දිවැසින් දුටු       දෙවියන්නේ
ගැතියන්ගේ ගොන් කම්   ඉවසන්නේ


සුමගට වන් යහපත්          මිනිසුන්නේ
දන් සිල් බවුන් වඩා පින්       දෙන්නේ
පින්කම් පින්පෙත් ලද      දෙවියන්නේ
පිහිටක් නැතුවා නොව     දෙවියන්නේ


දහමට නැඹුරුව දිවිය        ගෙවන්නට
සුමගට යොමුවී සතුට          ලබන්නට
සසරින් එතෙරව නිවන        දකින්නට
හරි මග බුදු මග ඒ මග            යන්නට


නිකමට ඇයි බණ අහගෙන       ඉන්නේ
නුවණින් විමසා හරය             උරන්නේ
පිලිවෙත් එකිනෙක රැුගෙන  පුරන්නේ
දහම් මගට මෙලෙයසි       පිවිසෙන්නේ


කවුරුත් අනුනගෙ වැරදි       දකින්නේ
තම තම අතිනුත් වැරදි    කෙරෙන්නේ
ඒවා මොනවාදැයි             විමසන්නේ
විමසා වරදින් නිදහස්             වන්නේ


හඞමින් හැපෙමින් කරදර         මත්තේ
කල් ගෙවතොත් සැනසීමක්   නැත්තේ
දුලබ වු මිනිසත් බව ලැබ         ගත්තේ
දුකින් මිදීමට බව දත              යුත්තේ


මට ඇති වන දුක කාටත්     එලෙසයි
ලෙඩ දුක් වුව හැමටම එක    විලසයි
වේදනාව දුක රහසක්            පවසයි
දිවි මග කටුකයි- සහනය     වනසයි


සසරේ සැම දේ අනියත          හින්දා
අද සැප- හෙට දුක ගෙනදෙයි  නින්දා
ආසා රැුහැනින් තැබුවත්        බන්දා
සැප සොයමින් දුක් කරදර      වින්දා

මුලූ වෙර යොදවා සිත දමනය කර ගත යුතුයි


දහසක් සිතුවිලි මනසට           එනවා
මිය යන තුරු මුත් පැන      විසඳනවා
විසඳුම් නැති පැන දුක් වද      දෙනවා
අසහනයෙන් මුලූ දිවිය       පිරෙනවා


ගැටුම් නොරිස්සුම්කම් වන      පරිදී
මුවින් පිටට ආ වදනක්           වැරදී
පසුවට දුක් වේ සබයේ            පරදී
අදහස බිහිවූයේ සිත               තුලදී


එහෙනම් රැකගත යුත්තේ          මුවග ද
නැතිනම් මතු වන අදහස්      ගොන්න ද
නැතහොත් පාදක වූ            සිතුවිල්ල ද
නැත නැත -රැකගත යුතු සිත්   වැට බැද


සිතුම් පැතුම් සුන් වූ විට          වේගේ
යස ඉසුරක් දුටුවොත් හෝ       කාගේ
එය උහුලන්නට බැරි           ආවේගේ
ආවොත් දරුණුයි විසකටු         වාගේ


මෙවන් සිතක් බිහිවූ හැම         වාරේ
සිතින් බිඳක් නොරැදී එම        පාරේ
ගිලී නිවී සැනසී මෙත්             දහරේ
පහන් සිතින් සෙත් වඩනු එ     වාරේ


අනුනගෙ සැප සම්පත් දුටු      හැම විට
අහිතක් නොසිතා උන් ලත්     සැපතට
තමන්ට අත් වූ සැපතක්           විලසට
ඇයි බැරි හද පත්ලෙන් තුටු  වෙන්නට


සතුරෙකු මුණ ගැසුනොත්  සැනෙකින්නේ
කෝප අග්නි දෙනෙතින්         පුපුරන්නේ
අලූ යට ගිනි සේ වයිරය               වන්නේ
එයින්ම ඔබෙ සිත දා          වැනසෙන්නේ


මේ බව නුවණින් වටහා          ගන්නේ
ඔබටම නපුරක් ඇයි කර         ගන්නේ
වයිරය වෙනුවට මෙත්       වඩවන්නේ
ඉන් ඔබ හට සුව සෙත්   සැලසෙන්නේ


කකුලූව මෙන් රත් වෙන දිය   හැලියේ
ඉඳිමින් සිහලූනි ඇයි ගුටි       කෙලියේ
නායකයින් වක ගසමින්          ඇලයේ
යමිනුයි දෙසන්නෙ වැදි බණ    එලියේ


රටත්-දැයත්- සමයත් රැුක      ගන්නට
දෙගුරුනි- දරුවන් යොමු කොට සුමගට
ගුණයෙන් දැනුමින් තව තව තර  කොට
එව්වොත් සැනසිය හැක ලක් මව    හට


වත්මන් පරපුර තුරුණු වියට         පත්
යා යුතු හරි මග හෝ යුතු       පිලිවෙත්
තෝරා බේරා නොගෙනම      වල්මත්
වූයේ ඇයිදැයි විමසනු            දැන්වත්


ලදරු වියේ දරුවන් මව්         තුරුලේ
හැදෙයි වැඩෙයි සිත් සතුටින්    ඉපිලේ
තුරුණු වියට පත් ඔවුනට    මෙකලේ
පතන සෙවන- මග-නැත ගේ  ඇතුලේ


ඔවුනට මතුවන ගැටලූ                ලිහන්නට
කෙනෙකු නොමැති විට උපදෙස්    ගන්නට
සුමග- නොමග- කිමදැයි          හඳුනන්නට
බැරිවී දිවි මග පත්වේ                      අඳුරට


මැදිවිය පසුකර වැඩිහිටියන්         වන
දැනුමැති කම් ලත් අයගෙන්     සිදුවන
මෙහෙවර අඩුවීමෙන් අද තැන    තැන
තරුණ පිරිස තුල වැඩිවෙයි      අසහන


වැඩිහිටියෙනි දැන් පෙරමුණ    ගන්නේ
තරුණ පිරිස දැනුවත්         කරවන්නේ
ගැටලූ වෙතොත් හරි මග පෙන්වන්නේ
නොමගට පත් අය සුමගට       ගන්නේ


අසරණ මවගේ අගහිඟකම්           මැද
සුරා සොෙඞකු වී නිරතුරු දුන්      වද
පියාගෙ වරදින් ආදර නොම          ලද
සුරතල් දරුවන්- මරුවන් වී          අද


බොහෝ නිවෙස්වල සූදුව         හින්දා
නිවසේ පැවතුන සාමය             බින්දා
අගහිඟකම් ඉහවහ ගොස්         නින්දා
විඳිමින් ඇතැමෙකු ඇත මරු  කැන්දා


මෙවන් නිවෙස්වල හැදෙනා   වැඩෙනා
සුරතල් දරුවන් හට නැත         නිවනා
අවැඩක් දෙගුරුන් කරනා         කියනා
අත්දුටු දරුවන් නොමගට       හැරුනා


මවත් පියත් දුසිරිතෙන් මිදිය                  යුතු
ගුණෙන් නැණෙන් නිති පොහොසත් වියයුතු
දරුවන් හට එය වේමැයි                   දැනමුතු
උතුම්ම සම්පත දරුවන්                   දැය සතු

මෙහෙම නොවෙයි අද වෙලා   තියෙන්නේ
දුසිරිතෙ ගැලෙමින් ඔවදන්          දෙන්නේ
හේතුව පල මිස ඉබේ              හැදෙන්නේ
නැති වග දැන්වත් වටහා              ගන්නේ


දෙගුරුන්ගේ සෙනෙහස උනුසුම      පෙම
නොම ලත් දරුවන් නොමගට    හැරුනම
රටත්-දැයත්- උන් අතින්ම          වැනසුම
වන බව අත්දැක ඇත්තෙමු         අපි හැම                               


පන්සිය පණසක් ජාතක            මත්තේ
කලකට පෙර බණ දහම         උගත්තේ
කිමෙකැයි යනු චතුරාරිය          සත්තේ
ආරිය අට මග කිමෙක        නොදත්තේ


මෙලෙසින් යටපත් වී තිබු      බුදු මග
පැලෑනෙ නා හිමියන් ගෙන   පෙර මග
එතෙර මෙතෙර පතුරා හෙලි     කල වග
අමතක නොකරමු අපි යමු       ඒ මග


පරණ පුරුදු එලෙසින්ම තබා     ගෙන
පස් පව් කරමින් - ආදීනව           දැන
ඒ අතරේ කොතෙකුත් අසනා      බණ
ගිහියන්ගෙන් පිරිලා මෙම       දිවයින


එබැවින් කාටද දහම්          දෙසන්නේ
කෙලෙසද මේ අය සුමගට     ගන්නේ
කොතැනද වරදේ මුල      පවතින්නේ
එය විමසා දැන හරි මග         යන්නේ


පර පණ නොනසනු හිංසා     නොකරනු 
දෙසනා අතරේ මෙත් සිත්         වඩවනු
නිර්මාංසයෙන් දානය               වලඳනු
ඒ දැක ගිහියන් සුමගට එනු            දනු


උත්සව වලදී ගිජුවී මස්                   කන
ගිහියන් හින්දා ගොදුරට ලක්           වන
කුකුලූ කිකිලියන් එලූවන් ගව         යන
සතුන්ගෙ ඉරණම මෙනෙහි කරනු  මැන


ඒ වැනි අසරණ සතුන්ගෙ දිවි        ගැන
මෙත් සිත් වඩවා නොනසා පර      පණ
සියලූ සතුන් හට අබය දානෙ        දෙන
ගුණයෙහි පිහිටා සිල්වත් වනු       මැන


සීලය පෝයට සීමා                නොකරනු
නිරතුරු සිල්වත් ගුණයෙහි      හැසිරෙනු
කරුණා ගුණයට නිති මුල් තැන     දෙනු
වේවා මුලු ලොව සුපිපුනු මල්      ගොනු


පිවිතුරු හදවත් උල්පතකින්             එන
කරුණා බර මෙත් ගුණයෙන් තෙත්  වුන
සිනහවකින් දුටුවන් තැන්පත්          වන
පිිලිගතහොත් මොකටද සැපතක්  වෙන


කොපමණ දන් පින් කෙරුවත්  මොකටද
බණ දහමට කන් දුන්නත්         මොකටද
වයිරය වපුරා ආසා පොදි                 බැඳ
සුමගට යන මග නැතිනම්           පිලිපැද

වස්තු කාමය නොව ගුණ දම් අගය කළ බුදුනට රන් වැට කුමටද?
මෙය බුදුන් වහන්සේට කරන නිගරුවක් නොවන්නේද?


රන් මිණි මුතු ආදිය          නොවටින්නේ
සොර බිය මර බිය එතැන      රැඳෙන්නේ
නිරතුරු සදහම් ගුණය             වටින්නේ
මෙලෙයසි දහමේ තතු       පැවසෙන්නේ


ඒ වුව කුමක්ද වෙලා            තියෙන්නේ
රන් වැට පුද බිම තුල       බැබලෙන්නේ
එහි වැඩි අගයක් ඇතැයි    හැෙඟන්නේ
සොර බිය එතැනට ලඟා    කෙරෙන්නේ


රන් වැටකට බොදු සිත්        ඇද ගන්නේ
තණ්හා ආසා ඉන්               වැඩි වන්නේ
බෝ සමිඳුන් හට ඉන්            උපදින්නේ
කුමන සෙතක් දැයි නැහැ   වැටහෙන්නේ


මිනිස් ගුණය නොව රන් මිණි       ආදී
අගේ කෙරුව දේවාගම්                වාදී
අඳ බැතියන් බුදු පිලිමය            බෝදී
රන් රුවනින් තිබුනා සකසා             දී


නිදන් හොරුන් බුදු පිලිම     කඩන්නේ
සිරස කඩා උදරය                හාරන්නේ
එහි තුල ඔය කී දේ        සොයමින්නේ
නැතිනම් අදටත් පිලිම      රැකෙන්නේ


දිවියේ මුලදී සැප සම්පත්           විඳ
බුදු මග වැටහී ආසාවන්              බිඳ
කණකර අබරණ විසිතුරු දේ  සොඳ
අත් හළ බුදුනට යලි එය        කුමටද

Sunday, March 25, 2012


බුදු සිරිත අගයමු

දෙදෙනෙකු මග තොට හමුවුන    විටෙකදි
මුහුණේ සිනහව නැහැ- එය       හොඳ මදි
උඩඟුව ඔරවන අයගෙන්           වෙයි හදි
බැලූ බැලූ හැම තැන අඩු වෙයි     අය ලැදි


දයාව කරුණා තෙත් ගුණයෙන්     යුතු
අත-හිත-උර දෙන අය වැඩි විය     යුතු
දැයකට සමගිය-සාමය- වෙයි        මුතු
දහම් දිවයිනක් වේවා              ඉස්මතු


සුමදුර බුදු බණ යනු කිමෙක්ද?
එය නැලවිලි දෙසුමක් නොවිය යුතුය


දහම් දෙසුම අද                   විලාසිතාවක්
ඇතැම් තැනෙක එය යස රඟ        පෑමක්
ඇසෙනා විට උපදවයි              හිනාවක්
කරගෙන ඇත බණ විහිලූ         කලාවක්


ඇදලා පැදලා දෙසන්නෙ      ඇයි බණ
සුමදුර බණ කිම වටහා        ගනු මැන
හරවත්- සදහම් රසයෙන්         අනූන
දෙසුමයි ගිහියන්ගේ සිත්       පිනවන


දේවාගම් පසුපස ගොස්       අනුවණ
කිරි දිය වත්කර බුදු රුව      නහවන
බුදු පුත් හිමියන් බුදු මග     කෙලසන
සැටියක් දුටුවා විගඩම්     දෝ මොන


අමුතු අමුතු නව වත් පිලිවෙත්       කොට
නොමගින් ගිහි හද ඇද බැඳ        ගන්නට
ගිහියන් මත් කොට ලොකු වියදම් කොට
රවටයි ගිහියන් යවමින්          නොමගට


බොරු බණ- බුදු බණ වෙනස නොදත්තේ
එනිසයි ගිහියන් රැුවටී               ඇත්තේ
ඇත්ත- නැත්ත- පිරිසිඳ දත          යුත්තේ
බොරුවට වැඩිකල් ආයුස         නැත්තේ


ලව්කික පැතුමන් ඉටු කර           ගන්නට
පුද පූජාවට මුල් තැන               දෙන්නට
බුදු මග සඟවා වසන්               කරන්නට
බුදු ගෙය දෙවොලක් නොකරනු අද හෙට


පිරිතේ ගැබ්වූ අරුත           නොදන්නේ
එය විමසන්නට තැත්     නොකරන්නේ
දුරලන්නට අපලය            මිනිසුන්නේ
දිවි මතුරක් සේ පිරිත         යොදන්නේ


එසේ නොකොට පිරිතේ ගැබ්වී         ඇති
සදහම් ගුණ මැනවින් දැන          ගැඹුරැති
මෙනෙහි කලොත් එම ගුණ කඳ   බලවති
පිරිතෙහි ගුණ ලද හැක මෙලෙසින්   නිති


මෙත් කරුණා සිල්වත් ගුණ    ඇත්නම්
පැවිදුනි කුමටද දිග දිග             පට්ටම්
ගිහියන් සදහම් මග ගෙන        යත්නම්
සැනසිය නොහැකිද අත හැර    පට්ටම්


හදවත ගිනිගත් අය ඔබ            හමුවට
ආවොත් යම් පිලිසරණක්     වෙන්නට
නුවණැස පාදා එගිනි           නිවන්නට
කළ හැකි හැම දේ කර     සනසන්නට


ඇවිලූනු හද ගිනි තව           අවුලන්නට
එපා අනුන් හට ගිනි ගෙඩි       දෙන්නට
දුක- දුකමයි වන අනුනට        හෝ මට
මෙසේ සිතා මෙත් සිත්       පතුරන්නට


නැති බැරි අය- ඇති හැකි අය     අතරට
එන විට දොරගුලූ ලා          වළකන්නට
එපා එපා එය නොහොබී      කෙනෙකුට
හැකි පමණින් පිලිසරණක්       වන්නට


දීමට ඔබ ලඟ නැති නම්          වත්කම්
ඒ වුව ඔබ හොඳ ගුණ යහපත්        නම්
ආදර කරුණාවෙන් සලකත්          නම්
හොඳ හිත- උපදෙස- උසස්ම    වත්කම්


පින් පව් මේ දෙක රැුඳී         තිබෙන්නේ
පිටතක නොව- හදවතේ          සිතන්නේ
සිතුවිලි අනුවයි යමක්         කෙරෙන්නේ
අනුනට- මට- යහපත පින          වන්නේ


මටත්- අනුනටත්-අයහපතක්             වන
කිසිවක් නොසිතනු-නොකරනු කිසි    දින
ඒවා පව් අකුසල් වශයෙන්               දැන
සිත-කය-වදනින් පව් නොකරනු     මැන


සතෙකුගෙ මස් රස කර වලඳන       විට
සිතනුය ආදීනව- එහි මුල               සිට
ඔබගෙන් අසරණ සතෙකුගෙ     දිවියට         
විපතක් වූ බව වැටහෙයි            සිහියට


එහෙනම් ඒ පව යලි         නොකරන්න
මින් පසු සතුනගෙ මස්          නුබුදින්න
දානය දෙන විට මස්        නොබෙදන්න
පර පණ නැසුමට ඉඩ       නොතබන්න

දහම් මග තුලින් දෙවියන් දැකිය හැක


තුන් වේලම බුදු පුද             තබමින්නේ
සැදැහැ සිතින් තෙරුවන්     නමදින්නේ
දාන සීල බාවනා                   වඩන්නේ
එයින් කුසල් සිත් නිති තර       වන්නේ


එසේ ලබා ගත් කුසලේ පින්          පෙත
අනුමෝදන් කරවනු දෙවියන්       වෙත
පින් පෙත් ලබනා දෙවියන් ඔබ    වෙත
විපතේදී පිහිටක් වේ සැක            නැත


බුදු මග ඔස්සේ දෙවියන්              දකිනට
හැක්කේ ඔය ලෙස බව දැන       ගන්නට
අප හැම කාටත් පෙනුනේ         නැතුවට
දෙවියන් වඩිතිලූ නිරතුරු          බුදු ගෙට


පැහැ බර සුවඳැති මල්     පුද මින්නේ
සුවඳ දුමින් බුදු හිමි       පුද  දෙන්නේ
පිරිතේ අනුහස මුසු       කර  මින්නේ
බුදු මැදුරම ආලෝක         කරන්නේ


බොදු බැති ගිහියෙනි නිති   මෙලෙසින්නේ
බුදු ගුණ ගයමින් බුදුන්              වන්නේ
යක්-බූ-පෙරේතයින් නොම         එන්නේ
සතුටින් ඉපිලී දෙවියො            වඩින්නේ


යන එන හැම තැනකදි     නොවරදවා
මනසින් සිත බුදු කුටියක්         කරවා
එහි තුල සදහම් ගුණ කඳ           පුරවා
විසුවොත් ඉන් දිවි මග ඔබ      දිනුවා


අනුවණ ගුණවත් අය අඳ         බැති වේ
ගුණ නැති නැණවත් අය      බිහිසුනු වේ
ගුණවත්-නැණවත් අයගෙන්    වැඩ වේ
ගුණ-නැණ දෙක සම බර විය    යුතු වේ


ගුණයෙන් සපිරුනු විට           සිල්වත් වේ
නැණවත් අය දැනුමින්           උගතුන් වේ
ගුණ-නැණ බල ඇත්තෝ නිති  මෙලොවේ
සැනසෙති-සුමගින් නිවනට        යොමුවේ

දුක හෝ සැප පිටතින් එන්නක් නොව
තමන් විසින්ම සිතේ ඇති කර ගන්නකි


වෙනත් කෙනෙකු යම් විටෙක   බණින විට
යහුලක් ඇනුනා මෙනි එය              සවනට
සැනෙකින් කෝපය පෙන්වන       එලි පිට
එපා වැටෙන්නට තිරිසන්              ගණයට


කෝපය- සෝකය පිටතින්       හිතකට
කා හටවත් බෑ දෙන්නට            හිතුවට
කෙනෙකු කියන දොස් දුරලා     ඉවතට
නෑසුනු ලෙස ඇයිදැයි බැරි       ඉන්නට


බාර නොගත් දොස ආපසු           යන්නේ
ඉන් ඔබෙ හදවත නොමැත   සැලෙන්නේ
බණින අයට මෙත් සිත්         පතුරන්නේ
මෙලෙසයි සුමගට ආ හැකි         වන්නේ


බණින විටෙක හතුරෙකු හා  ගැටුනොත්
බහින් බස්ව ඔබ දුරදිග          ගියහොත්
දහම් දැනුම ඔබ කොතරම්         ලදුවත්
පෙන්වයි නුපුරා ඇති බව       පිලිවෙත්

බොදු බැතියන් බිලි බා ගැනීමට ඉඩ නොතබමු


බොදු බැති අසරණයින්       ලතැවෙන්නේ
නැති බැරි අග හිඟකමින්      පෙලෙන්නේ
උන් හට පිහිටක් නොමැත    ලැබෙන්නේ
මුදලට ආගම වෙනස්               කරන්නේ


සම්පත් රැුකියා මං දිගු            කරලා
මේවා දෙවියන් දුන්නයි          කියලා
රහසින් උන් අන් දහමට        පෙරලා
බිලි ගන්නා බව දත යුතු          ඔබලා


 රැුවටුනු අය හට වයිර නොකල      යුතු
හේතුව විමසා පිහිටක් විය                යුතු
ඩැහැ ගන්නට අසරණයින් මින්       මතු
මිෂනාරින් හට ඉඩක් නොදිය          යුතු


බුදු පුත් හිමියෙනි ගුණ නැණ තර  කොට
සිල් සුවෙන් පරිසරයම සරු         කොට
බවුන් වඩා මෙත් සිත්          පතුරන්නට
රුකුලකි එය අනුගාමිකයින්             හට


සම්පත් පසුපස එපා                දුවන්නට
පර හිත කාමී ගුණ               වඩවන්නට
තමා වෙතට නොව අනුනට    දෙන්නට
නිතරම ගත-සිත යොදන්න         දහමට


මෙවැනි උතුම් ගුණයෙන් යුත්    සඟුනට
සිව් පසයෙන් නිරතුරු         සලකන්නට
දිවි හිමියෙන් විපතින් රැුක       ගන්නට
ගිහියෝ පෙරමුණ ගත්තෝ       පෙර සිට


 ඇතැම් තැනෙක ඇති පසු බිම  නරකයි
මුදලම තර කර ගන්නට         කැසකයි
හරි මග පෙන්වන ගිහියන්       වලකයි
බලයට- ඉසුරට පැවිදුන්       පොරකයි


 මෙවැනි අගති ගති සිත් පුරවා    ගෙන
සිවුරෙන් ඒවා උඩින් වසා        ගෙන
පිලිවෙත් කිසි නුපුරා දෙසනා      බණ
තරුණ පිරිස් විමසිල්ලෙන් ඒ      ගැන


ගිහියන්-පැවිදුන් තව තව          ලංකර
තරුණ පිරිස් ඒ අතරට මැදි           කර
ගන්නට නිරතුරු හොඳ හිත දිගු     කර
පිලිවෙත් මග යමු පන්සල මුල්     කර


බොදු බැති දායක ගිහියන්ගේ      තතු
දැනට වඩා විමසිල්ලෙන් දත       යුතු
පැවිදුනි ගිහියන්ගෙන් වන      ඉස්මතු
දුක් ගිනි නිවනුය දී ඔවදන්          මුතු


සුරාව මුල්වී ගිිහි ගෙය ගිනි       ගෙන
දරුවන් නිවසේ වී                   අසරණ
ඉන්නා විටෙකදි දනිතොත් ඒ      ගැන
පැවිදුනි කල හැකි දේ නම්      අපමණ


පන්සල තුල හුදකලා         නොවන්නේ
ගෙන් ගෙට ගොස් පිඩු සිඟා   වඩින්නේ
එමගින් ගිහි සබඳතා          වැඩෙන්නේ
පැවිදුනි ගිහියන් සුමගට         ගන්නේ


 පන්සල හෝ බෝදිය මුල් කර      ගෙන
මුදල් ගරන්නට ඉන් නොසිතනු      මැන
යන්තර-මන්තරවල අනුසස්           ගැන
නොදෙසා- බුදු මග පෙන්වා දෙනු   මැන


පන්සල අමදින - තෙරුවන      නමදින
නිරතුරු එහි යන එන ගිහියන්       ගැන
දුක සැප උන්ගේ අඩුවෙන්       විමසන
යම් යම් අදිපති පැවිදුන් දැන         දැන


පන්සල පැත්තට සිය පා      නොනගන
වැඳුම් පිදුම් ඈ කිසිවක්         නොකරන
සිදාදියේ මහ ඉහලින්            වැජඹෙන
පින් ඇත්තන් ගැන විමසයි    නිතියෙන


 මෙලෙසින් කිසිවිට ගැති කම්  නොකරනු
සැමටම එක සේ සම සිත්             පතුරනු
ගුණවත්- සිල්වත් ගිහියන්           අගයනු
සැදැහැවතුන් ගැන සැලකිලිමත්     වෙනු

මිනිස් ගුණ යටපත් වී නොමිනිස් ගුණ ඉස්මතු වන්නේ ඇයි?


කල ගුණ නොරැුඳේ පාවී       යන්නේ
චාටු බසටමයි අවනත             වන්නේ
කපටි කමට කවුරුත්     රැුවටෙන්නේ
මිනිස් ගුණය අද බලූ      නොවටින්නේ


 කළ ගුණ සලකන්නට මැලි           වන්නේ       
 කළ හොඳ-හොඳ ලෙස ඇයි නොදකින්නේ
 ඉන් හොඳ අයගේ හිත්        පැහැරෙන්නේ
 ඇයිදැයි මිනිසුනි ගුණමකු             වන්නේ


 අසරණ වූ විට සරණ            ලබන්නේ
කණවැල අල්ලා හිස           ඔසවන්නේ
ඉහලට නැගි විට පසු      නොබලන්නේ
 නැගි ඉණි මගටත් පයින්      ගසන්නේ


 කෙනෙකු වැටුනු විට නැහැ අත දෙන්නේ
එවැනි කෙනෙකු දුට තව         පාගන්නේ
කල ගුණ ඔහුගේ යටපත්           වන්නේ
නැති දොස් ඉස්මතු කර      පෙන්වන්නේ


 සරුංගලේ ආදරයෙන්         හැදුවේ
ඉහල යවන්නට එය පා     කෙරුවේ
ඉහලට ඉහලට ගිය පසු          දුටුවේ
හැ\ ලමුන් නොව රිදී          වලා වේ


  රැුවටිලි දහසකි හොඳ නම      ගන්නට
අරමුණ කෙලසක හෝ රජ      වෙන්නට
යටි හිත සඟවා බොරු වෙස්       ගත් විට
කවුරුත් නිරතුරු රැුවටෙති      උන් හට


සඟවා ගත් අරමුණු සිත්            ඇතුලේ
ඔහොමයි ඇතැමුන්ගේ හැටි   මෙකලේ
වැලලී යයි සදහම් මග              අකලේ
දුදනන්- සුදනන් සේ අද            සුදිලේ


කලණ මිතුරු යහ ගුණ    පෙන්වන්නේ
අඹ මිතුරන් සේ ඇසුරට           එන්නේ
හොඳ හිත පෙන්වා නොමගට   ගන්නේ
පාප මිතුරු ඇසුරින්           වළකින්නේ
                                                       
බියකරු-විසකුරු සතෙකු      දුටුව   විට
හැකිවේ විපතින් වහා         මිදෙන්නට
යටි හිත සඟවා ගත් මිනිසුන්           දුට
කෙලෙසක වත් බැහැ හඳුනා   ගන්නට


 මිනිසුන් ඇයි මෙලෙසින්  හැසිරෙන්නේ
 යටි හිත- උඩු හිත එකක්    නොවන්නේ
 වෙස් මුහුණක් බැඳ සිත්      සඟවන්නේ
 උනුනුන් කෙරෙහී සැක       උපදින්නේ


 කොකාගෙ කිරි සුද ඉගිලී         යන විට
 කාටත් හැකි වේ එය දැක        ගැනුමට
 මිනිසුන්ගේ සිත් නොපෙනේ  කිසි විට
 එතරම් දස්සයි සඟවා              ගන්නට


 මරණය අතැතිව මෙලොවට         ආවේ
 දිවි මග අවසන හුස්ම                 ගියාවේ
 හරි වැටහුම් නැති අය             හැඞුවාවේ
 කෙමෙන් කෙමෙන් මුත් නිවනට  යාවේ

දිවියෙන් නික්මෙන අවසන් මොහොතට
තණ්හා ආසා යේවා                    අහකට
චුති සිත ඇලලී පින්පෙත්           කුසලට
මග ලං වේවා සුපතන               නිවනට


මරණය ලං වන විට ඇතැමුන්     හට
බියකරු දැකුමන් පෙනිලා    සියැසට
මරණ බියෙන් ඇලලී හඞනා      විට
පමා වැඩියි උන්හට අත    දෙන්නට


ඇසූ දුටු තැන් ඇති        මිනිසුන්නේ
මේ බව කාටත් වටහා       දෙන්නේ
කුසලට දහමට පමා     නොවන්නේ
අකුසල් සිත් මුලූමනින්    හරින්නේ


තම තම දොස් එලෙසින්ම තබා     ගෙන
දෙලොවට වැඩ සිදුවෙතැයි හිතා    ගෙන
අඳ බැතියෙන් බෝ පවුරු වටා        යන
නොමගට වන්් අය සුමගට ගනු    මැන


මෝහ අඳුර වැඩි හින්දා      කෙනෙකුට
බුදු මග- හරි මග- මේ යයි     තිර කොට
බැරි වුවහොත් ඇස් ඇර   පෙන්වන්නට
විපතකි පතනෙමු එසේ     නොවන්නට


පව් කම් ටික ටික නැත්තට නැතිකොට
පින්කම් තව තව යහමින්    තර කොට
එමගින් ගත-සිත හරවා            සුමගට
මග පාදා ගනු මැන අම           නිවනට

මෙත් සිත් පැතුම්

නොදැනුම- මෝහය- යටපත්     වේවා
සිතන නුවණ තව ඉස්මතු          වේවා
එමගින් සදහම් මග දිස්              වේවා
ඒ මග ඔස්සේ නිවන                 දකීවා


සතුරු මිතුරු සැමටම සැප         වේවා
කිසිවෙකුටත් වයිරය     නොකෙරේවා
මෙත් සිසිලෙන් යුද ගැටුම්      නිවේවා
සම මෙත් සිත් දසතෙහි       පැතිරේවා


තණ්හා ආසා ගති දුරු             වේවා
මමත්වයෙන් හිත් නිදහස්       වේවා
නිවන් මගට බාදක වෙයි        මේවා
සුමගින් සංසාරේ කෙටි           වේවා


බුදු මග පෙන්වීමෙන් බුදු             පුතුනේ
අනුවණ අය දැනුවත් කර          දෙමිනේ
එමගින් දිය හැක පන්සල         හෙවනේ
නොදිරන නොමැරෙන සැනසුම නිවනෙ

මිනිසුනි දුර් ගුණ පාන්නේ ඇයි?


උඩින් හිනාවී හොඳ හිත      පෙන්වා
යටින් උගුල් ඇද අන් සිත්       රිදවා
හිටියත් බේරී හිත වද           දෙනවා
වැල නොකැඞී දුක් කරදර      එනවා


ඇවිලෙන දුක් ගිනි සිත් තුල      ඇත්තේ
ඇයි අද සැනසුම් සුවය      නොමැත්තේ
ගින්නක් නැති තැන දුමක් නොමැත්තේ
කළකම් දොසකින් මෙය හට     ගත්තේ


සිතමින් අත ලඟ වාසි              ලබන්නට
අන් අයෙකුගෙ තැන නැති  කර  ලන්නට
කළොත් කුමන්තර එහෙනම්      අද හෙට
සිදුවෙනවාමයි කරුමෙ          ගෙවන්නට


  මේ හැම විපතට මූලික            වන්නේ
 සිතමයි ඒ බව සිහිකර              ගන්නේ
 රහසින් වත් අන් සිත්   නොපෙලන්නේ
හොඳ අය එහෙමයි සැනසී         ඉන්නේ


අඹයක් සිටුවා ගොයමක්                පැතුවද
නොහොඳක් කර සැනසෙන්නේ කෙළෙසද
හොඳ හිත වපුරා දිවි ගෙවතොත්            අද
යටපත් වේ ඉන් දුක් කරදර                   වද


       
 රහසින් වත් අන් සිත් තුල           කරදර
 මතුවන විදියේ කළොත්        කුමන්තර
 පළඳා ගත්තත් යන්තර             මන්තර
 වැල නොකැඞී පසු පස එයි         කරදර


 පෙර කළ අකුසල කර්මය        මතු වේ
 තව තව අකුසල් සිත් ඇයි        පිරුවේ
 මෙත් සිත් සමසේ සිත් තුල      දැරුවේ
 එහෙනම් දුක් අපලය ඉන්         දුරුවේ


 කේලම්- නැති දොස්- ඉස්මතු   කරලා
 කීමෙන් සිත් බිඳ සමගිය        කඩලා
 රජ වෙන්නට ඔබ අන් අය   පෙලලා
 සිතුවොත් ඔබටත් එයි දුක්    පෙරලා


  මිනිසත් බවෙහී අගය     නොදන්නෝ
නොමිනිස් කම් හී ඇලී     ගැලෙන්නෝ
සදහම් ගුණ නිති පුරුදු         කරන්නෝ
බුදුන් දකින්නෝ- නිවන්     දකින්නෝ
අඳුරෙන් එළියට-    අඳුරෙන් අඳුරට-
එළියෙන් අඳුරට-   එළියෙන් එළියට
පිවිසෙන මිනිස් වර්ග සතර



පෙර පව් අකුසල සහිතව       මෙලොවට
ඉපැදීමෙන් පසු තව තව        පව් කොට
උතුම් මිනිස් බව කෙලෙසා        ගත් විට
මේ වැනි අය යති අඳුරෙන්       අූඳුරට


පෙර පව් අකුසල සහිතව             උපනත්
ඉපැදීමෙන් පසු කුසලෙහි       යෙදුනොත්
කළ කම් ගෙවමින් දිවියක්          යහපත්
ගෙවනා අය අඳුරෙන් එලියට           එත්





තවත් අයෙක් පෙර කුසලෙහි       යෙදිලා
මේ ලොව ඉපිද මිනිස් බව             ලබලා
කුසලෙහි නොව- නිති පාපෙහි      ගැලිලා
එළියෙන් අඳුරට ආපසු                හැරිලා


වෙනත් අයෙක් පෙර පින් පල      ලබලා
මෙලොව ඉපිද යලි යලි පින්         කරලා
මිනිසත් බවකින් නිසි පල         නෙලලා
එළියෙන් එළියට එති බණ           අසලා


තැත් කළ යුත්තේ එන්නට        හැමවිට
අඳුරෙන් එළියට-එළියෙන්         එළියට
එපා හැරෙන්නට එළියෙන්          අඳුරට
හෝ අඳුරෙන් යලි යලි එම          අඳුරට


හද පතුලෙන් නැගෙන සිනහවකින් සංග‍්‍රහ කිරීමට බැරි ඇයි ?



දයා සිනාවන් සුපිපුනු             මල් මෙනි
සිනාව මතු වන්නේ හද           පතුලෙනි
අන් හිත් පැහැරෙන්නේ උල්  කටු  වැනි
හෙලා දකින්නට යෙ\            හිනාවෙනි


උඩු තොල ඔසවා දත් පෙල     පෙන්වා
නූපන් සිනහව මුහුණෙහි           ගන්වා
 දුදනෝ සෙසුවන් ලඟටම       ගෙන්වා
 ඒ අය රවටති හොඳ හිත         පෙන්වා

 පාරේ යන එන අතරෙහි              යම් විට
ලිස්සා වැටුනොත් කෙනෙකකුට   හනිකට
අත-හිත-දෙන්නේ නොමැතිව     උන් හට
වුනු විපතේදී හිනා                නොවන්නට

සෙනෙහස-දයාව- නැති විට       හිත යට
සිනහවකින් බැහැ මුව          සරසන්නට
නොමිළේ දිය හැකි හිනාව    කෙනෙකුට
දෙන්නට බැරි අය සුළබයි      රට තොට


මෙත්-කරුණා ගුණ පුරුදු පුහුණු  කොට
නපුරු කුරිරු දෑඩි හදවත් තෙත්   කොට
සැබෑ සිනහ මතු කර මින්         මත්තට
සදහම් ගුණ දසතෙහි           පතුරන්නට


දුක් දොම්නස් යටපත් වන   මොහොතින්
රිදී වලා සේ දිස් වන                    ඈතින්
පිහිටක් වන්නට බැරි වුව              දෑතින්
සිනහවකින් කළ හැක එය  මොහොතින්


අනුනගෙ විපතෙදි සිනහ      නොවන්නට
සිනහවකින් හදවත්               සනසන්නට
සිනහව හද පතුලෙන් නැග          එන්නට
මෙත් කරුණා සිත් ඇති ඇති කර ගන්නට


අරමුණ ඉටු කර ගන්නට      ගෙනාව
මවා පාන බොරු චාටුව          හිනාව
නිරායාසයෙන් මතු වන          හිනාව
හඳුනා ගනු මැන මේ දෙක      මනාව


ලද සම්පත් විඳ ගනිමින්           සතොසේ
සරණක් වනු අන් අයටත්          හැකි සේ
තමනුත්-අනුනුත්-ඉන්නට           සැපසේ
වැඩ කළහොත්-දෙලොවට වැඩ   සැලසේ


මුදලට ඇයි වැඩියෙන් ගිජු        වෙන්නේ
පරහිත කාමි බව                 ගිලිහෙන්නේ
තව තව වස්තුව රැුස් කර           ගන්නේ
එසේ කලොත් දෙලොවම   පිරිහෙන්නේ


අත හිත දුන් ගුරු-දෙගුරුන්     නෑයින්
වැඩිහිටියන් හා සෙසු       අසරණයින්
හිස එසවූ දා නොකරනු           මායින්
අවැඩක් සිදුවේ දනු              ඒවායින්


අන් අයගේ අත හිත නොලබා       මම
හිස ඔසවා රජ වූයෙමි              තනියම
මෙලෙසින් නොසිතනු ආ මග  බැලූවම
පෙනේවි අත්-හිත් දුන් අය     හැමෝම


අතීත පසුබිම සැකසී               ඇත්තේ
අන් කාගෙත් පිහිටෙනි දත      යුත්තේ
එහෙනම් ඇයි? හිස උදුමා        ගත්තේ
ගුණමකු කම නොහොබී-හල  යුත්තේ


උගත්කමින් හා බලයෙන් ඔබ          ලද
උඩඟුව මත්වී ඉන්නේ ඇයි              අද
මාායා සිතුවිලි සිත් තුල සිඳ            බිඳ
නිහතමානි ගුණ වැඩුවොත් වෙයි  හොඳ


කළ හොඳ සුලූකොට අමතක    නොකරනු
දිය මත ඇඳ ඉරි මෙන් එය       නොතකනු
ගුණමකු කම නොහොබී එය          දුරලනු
ඉතා උසස් ලෙස කළ ගුණ            සලකනු

Saturday, March 24, 2012

තෙරුවන බුදු ගුණ සැම දෙවි    සිහිකර
නොමගින් සුමගට මිනිසුන්  ගොඩකර
බුදු මග යන්නට උවදෙස්         කවිකර
සෙත සලසන්නට හැමගෙන්    අවසර



 සම්මා සම්බුදු හිමි ගුණ             කන්දා
 බැති සිත් වඩවා තෙරුවන      වැන්දා
 නුවණින් මරු බල දමමින්       සින්දා
 උවදෙස් කැටිකොට කවි මුතු  බැන්දා


 සදහම ලොවටම පතුරන       සිරිලක
 රට තුල අදහම රජවෙනු      දැක දැක
 බුදු මග මේ යැයි අන් මග   වෙනතක
 යනු දැක පවසනු රිසියෙමි    මේ ටික


 බුදු රුව බල බල කල්     නොමරන්න
 බුදු ගුණ නුවණින් මෙනෙහි  කරන්න
 නව අරහාදී ගුණය            නොදන්න
 කිසිවෙකු හට බැහැ බුදුන්     දකින්න


 ඉසි කෝ මානය සිත් පුරවා         ගෙන
 ඒවා ටික ටික හෝ අත්              නාරින
 නැති ගුණ ඇති සේ සිතින්    මවා ගෙන
 අනුවණ ඇත්තෝ යති ඇස්   වහ ගෙන


 ආමිස පූජා මුල් තැන               ගන්නේ
 පිලිවෙත් පිරුමට මුල     නොපුරන්නේ
 මෙහෙම ගියොත් ඔබ වල්මත් වන්නේ
 කොයි මග ඔස්සෙ නිවන්      දකින්නේ