Saturday, March 31, 2012


පන්සල ඇතුලේ දේවාලේ ඇත දේවාලේ තුල පන්සල් කිසි නැත ඒ ඇයි?


පන්සල ඇතුලේ දේවාලේ        ඇත
දෙවාලේ තුල පන්සල් කිසි       නැත
මේ වෙනසට හේතුව විමසා      නැත
ගිහියෝ යති ඔස්සේ මිත්යා        මත


හින්දු බැතිමතුන් හට එම          ආගම
දැඩි විශ්වාසයි සිය පණ          වාගෙම
ඒ හින්දා අදහති එම                 දහමම
නොසොයා අන් සරණක් හෝ   ආගම


බොදු ගිහියෙනි කිම වෙලා   තියෙන්නේ
අන් සරණක් ඇයි මිස      තෙරුවන්නේ
බුදු මග හරි හැටි වටහ       නොගන්නේ
දේවාගම් පසුපස දිව               යන්නේ


ඔන්න බුදුන් යයි මල් ටික    තියලා
මාරු කාසි ටික කැටයට        හලලා
බුදු මැදුරින් යන ආපසු         හැරිලා
සැදැහැවතුන් දේවාලෙහි       පිරිලා


එතැනදි ඔවුනට හදිස්සි        නැත්තේ
කපුවාගෙන් ආසිරි ලැබ         ගත්තේ
තව තව ලැබෙන්ට යයි මතු  මත්තේ
යදින යැදුම් සීමාවක්          නැත්තේ


දෑත් මුදුන් දී දෙවියන්             නමදින
ඇස් පිය නොහෙලා ගතු කම්    පවසන
අඳ බැතියන්ගේ දුක් දොම්නස්    ගැන
අහන්න බලන්න මදි වේ ඇහැ   කණ


මුහුණු සයක් කඳ සුරිඳුට        ඇති වෙද
සක් දෙවිඳුනි ඇස් සහසක්      ඇති වෙද
සසරේ පෙර පව් පින් පල       නොලදද
දෙවොලෙහි යදින්න විලි බිය  නැතිවද


තෙරුවන මිස අන් සරණක්   නැත්තේ
ඒ අයුරිනි බණ දහම          උගත්තේ
ඇයි අද ඒ බණ මතකයෙ       නැත්තේ
හඞා හැපෙනවා දෙවියන්         මත්තේ


වටිනා කම් ඇති රුපියල්           නෝට්ටු
සුවඳැති කුසුමන් පැහැපත්    පොහොට්ටු
පලතුරු කැවිලිද වට්ටියේ       තෙහෙට්ටු
පිලිගන්නට හැර දෙවොලේ        ගේට්ටු


සුවඳැති මල් හා පලතුරු            කැවිලිද
දෙවියන් හට මොන කාසිද         පඞුරුද
ගැත්තන්ගෙන් ගැලවීමක්         නැතුවද
දෙවියන් දෙවොලෙන් පිටමං        වී අද


අත මිට සරුවන- බෙල්ල         මහත් වන
ඉල ඇට නොපෙනෙන- උදරය   පිම්බෙන
ගෙල වට රන් වැට- සරුවට        දිස්වෙන
දෙවොලේ කපුවා දෙවියෙකි       ලත් පින


දෙවියන් නැති දෙවොලට       රිංගාලා
යක්-බූ-පෙරේතයින් වැහි       වැහැලා
අඳ බැතියන් පුද දෙන පුද          කාලා
ගැත්තන්ගේ ඇඟටත් උන්      වැහිලා


අවිදු අඳුරු මෝහෙන්         මත් වීලා
දසැඟිල්ලෙම රන් මුදු          පුරවාලා
සැප විඳ කොතෙකුත්        සූරා කාලා
දෙවොලේ දායක             මුදලාලීලා


දෙවියන්ගේ නම් විකුණා      කන්නේ
කූට උපා මං වේ              කපුවන්නේ
මේ තතු දිවැසින් දුටු       දෙවියන්නේ
ගැතියන්ගේ ගොන් කම්   ඉවසන්නේ


සුමගට වන් යහපත්          මිනිසුන්නේ
දන් සිල් බවුන් වඩා පින්       දෙන්නේ
පින්කම් පින්පෙත් ලද      දෙවියන්නේ
පිහිටක් නැතුවා නොව     දෙවියන්නේ


දහමට නැඹුරුව දිවිය        ගෙවන්නට
සුමගට යොමුවී සතුට          ලබන්නට
සසරින් එතෙරව නිවන        දකින්නට
හරි මග බුදු මග ඒ මග            යන්නට


නිකමට ඇයි බණ අහගෙන       ඉන්නේ
නුවණින් විමසා හරය             උරන්නේ
පිලිවෙත් එකිනෙක රැුගෙන  පුරන්නේ
දහම් මගට මෙලෙයසි       පිවිසෙන්නේ


කවුරුත් අනුනගෙ වැරදි       දකින්නේ
තම තම අතිනුත් වැරදි    කෙරෙන්නේ
ඒවා මොනවාදැයි             විමසන්නේ
විමසා වරදින් නිදහස්             වන්නේ


හඞමින් හැපෙමින් කරදර         මත්තේ
කල් ගෙවතොත් සැනසීමක්   නැත්තේ
දුලබ වු මිනිසත් බව ලැබ         ගත්තේ
දුකින් මිදීමට බව දත              යුත්තේ


මට ඇති වන දුක කාටත්     එලෙසයි
ලෙඩ දුක් වුව හැමටම එක    විලසයි
වේදනාව දුක රහසක්            පවසයි
දිවි මග කටුකයි- සහනය     වනසයි


සසරේ සැම දේ අනියත          හින්දා
අද සැප- හෙට දුක ගෙනදෙයි  නින්දා
ආසා රැුහැනින් තැබුවත්        බන්දා
සැප සොයමින් දුක් කරදර      වින්දා

මුලූ වෙර යොදවා සිත දමනය කර ගත යුතුයි


දහසක් සිතුවිලි මනසට           එනවා
මිය යන තුරු මුත් පැන      විසඳනවා
විසඳුම් නැති පැන දුක් වද      දෙනවා
අසහනයෙන් මුලූ දිවිය       පිරෙනවා


ගැටුම් නොරිස්සුම්කම් වන      පරිදී
මුවින් පිටට ආ වදනක්           වැරදී
පසුවට දුක් වේ සබයේ            පරදී
අදහස බිහිවූයේ සිත               තුලදී


එහෙනම් රැකගත යුත්තේ          මුවග ද
නැතිනම් මතු වන අදහස්      ගොන්න ද
නැතහොත් පාදක වූ            සිතුවිල්ල ද
නැත නැත -රැකගත යුතු සිත්   වැට බැද


සිතුම් පැතුම් සුන් වූ විට          වේගේ
යස ඉසුරක් දුටුවොත් හෝ       කාගේ
එය උහුලන්නට බැරි           ආවේගේ
ආවොත් දරුණුයි විසකටු         වාගේ


මෙවන් සිතක් බිහිවූ හැම         වාරේ
සිතින් බිඳක් නොරැදී එම        පාරේ
ගිලී නිවී සැනසී මෙත්             දහරේ
පහන් සිතින් සෙත් වඩනු එ     වාරේ


අනුනගෙ සැප සම්පත් දුටු      හැම විට
අහිතක් නොසිතා උන් ලත්     සැපතට
තමන්ට අත් වූ සැපතක්           විලසට
ඇයි බැරි හද පත්ලෙන් තුටු  වෙන්නට


සතුරෙකු මුණ ගැසුනොත්  සැනෙකින්නේ
කෝප අග්නි දෙනෙතින්         පුපුරන්නේ
අලූ යට ගිනි සේ වයිරය               වන්නේ
එයින්ම ඔබෙ සිත දා          වැනසෙන්නේ


මේ බව නුවණින් වටහා          ගන්නේ
ඔබටම නපුරක් ඇයි කර         ගන්නේ
වයිරය වෙනුවට මෙත්       වඩවන්නේ
ඉන් ඔබ හට සුව සෙත්   සැලසෙන්නේ


කකුලූව මෙන් රත් වෙන දිය   හැලියේ
ඉඳිමින් සිහලූනි ඇයි ගුටි       කෙලියේ
නායකයින් වක ගසමින්          ඇලයේ
යමිනුයි දෙසන්නෙ වැදි බණ    එලියේ


රටත්-දැයත්- සමයත් රැුක      ගන්නට
දෙගුරුනි- දරුවන් යොමු කොට සුමගට
ගුණයෙන් දැනුමින් තව තව තර  කොට
එව්වොත් සැනසිය හැක ලක් මව    හට


වත්මන් පරපුර තුරුණු වියට         පත්
යා යුතු හරි මග හෝ යුතු       පිලිවෙත්
තෝරා බේරා නොගෙනම      වල්මත්
වූයේ ඇයිදැයි විමසනු            දැන්වත්


ලදරු වියේ දරුවන් මව්         තුරුලේ
හැදෙයි වැඩෙයි සිත් සතුටින්    ඉපිලේ
තුරුණු වියට පත් ඔවුනට    මෙකලේ
පතන සෙවන- මග-නැත ගේ  ඇතුලේ


ඔවුනට මතුවන ගැටලූ                ලිහන්නට
කෙනෙකු නොමැති විට උපදෙස්    ගන්නට
සුමග- නොමග- කිමදැයි          හඳුනන්නට
බැරිවී දිවි මග පත්වේ                      අඳුරට


මැදිවිය පසුකර වැඩිහිටියන්         වන
දැනුමැති කම් ලත් අයගෙන්     සිදුවන
මෙහෙවර අඩුවීමෙන් අද තැන    තැන
තරුණ පිරිස තුල වැඩිවෙයි      අසහන


වැඩිහිටියෙනි දැන් පෙරමුණ    ගන්නේ
තරුණ පිරිස දැනුවත්         කරවන්නේ
ගැටලූ වෙතොත් හරි මග පෙන්වන්නේ
නොමගට පත් අය සුමගට       ගන්නේ


අසරණ මවගේ අගහිඟකම්           මැද
සුරා සොෙඞකු වී නිරතුරු දුන්      වද
පියාගෙ වරදින් ආදර නොම          ලද
සුරතල් දරුවන්- මරුවන් වී          අද


බොහෝ නිවෙස්වල සූදුව         හින්දා
නිවසේ පැවතුන සාමය             බින්දා
අගහිඟකම් ඉහවහ ගොස්         නින්දා
විඳිමින් ඇතැමෙකු ඇත මරු  කැන්දා


මෙවන් නිවෙස්වල හැදෙනා   වැඩෙනා
සුරතල් දරුවන් හට නැත         නිවනා
අවැඩක් දෙගුරුන් කරනා         කියනා
අත්දුටු දරුවන් නොමගට       හැරුනා


මවත් පියත් දුසිරිතෙන් මිදිය                  යුතු
ගුණෙන් නැණෙන් නිති පොහොසත් වියයුතු
දරුවන් හට එය වේමැයි                   දැනමුතු
උතුම්ම සම්පත දරුවන්                   දැය සතු

මෙහෙම නොවෙයි අද වෙලා   තියෙන්නේ
දුසිරිතෙ ගැලෙමින් ඔවදන්          දෙන්නේ
හේතුව පල මිස ඉබේ              හැදෙන්නේ
නැති වග දැන්වත් වටහා              ගන්නේ


දෙගුරුන්ගේ සෙනෙහස උනුසුම      පෙම
නොම ලත් දරුවන් නොමගට    හැරුනම
රටත්-දැයත්- උන් අතින්ම          වැනසුම
වන බව අත්දැක ඇත්තෙමු         අපි හැම                               


පන්සිය පණසක් ජාතක            මත්තේ
කලකට පෙර බණ දහම         උගත්තේ
කිමෙකැයි යනු චතුරාරිය          සත්තේ
ආරිය අට මග කිමෙක        නොදත්තේ


මෙලෙසින් යටපත් වී තිබු      බුදු මග
පැලෑනෙ නා හිමියන් ගෙන   පෙර මග
එතෙර මෙතෙර පතුරා හෙලි     කල වග
අමතක නොකරමු අපි යමු       ඒ මග


පරණ පුරුදු එලෙසින්ම තබා     ගෙන
පස් පව් කරමින් - ආදීනව           දැන
ඒ අතරේ කොතෙකුත් අසනා      බණ
ගිහියන්ගෙන් පිරිලා මෙම       දිවයින


එබැවින් කාටද දහම්          දෙසන්නේ
කෙලෙසද මේ අය සුමගට     ගන්නේ
කොතැනද වරදේ මුල      පවතින්නේ
එය විමසා දැන හරි මග         යන්නේ


පර පණ නොනසනු හිංසා     නොකරනු 
දෙසනා අතරේ මෙත් සිත්         වඩවනු
නිර්මාංසයෙන් දානය               වලඳනු
ඒ දැක ගිහියන් සුමගට එනු            දනු


උත්සව වලදී ගිජුවී මස්                   කන
ගිහියන් හින්දා ගොදුරට ලක්           වන
කුකුලූ කිකිලියන් එලූවන් ගව         යන
සතුන්ගෙ ඉරණම මෙනෙහි කරනු  මැන


ඒ වැනි අසරණ සතුන්ගෙ දිවි        ගැන
මෙත් සිත් වඩවා නොනසා පර      පණ
සියලූ සතුන් හට අබය දානෙ        දෙන
ගුණයෙහි පිහිටා සිල්වත් වනු       මැන


සීලය පෝයට සීමා                නොකරනු
නිරතුරු සිල්වත් ගුණයෙහි      හැසිරෙනු
කරුණා ගුණයට නිති මුල් තැන     දෙනු
වේවා මුලු ලොව සුපිපුනු මල්      ගොනු


පිවිතුරු හදවත් උල්පතකින්             එන
කරුණා බර මෙත් ගුණයෙන් තෙත්  වුන
සිනහවකින් දුටුවන් තැන්පත්          වන
පිිලිගතහොත් මොකටද සැපතක්  වෙන


කොපමණ දන් පින් කෙරුවත්  මොකටද
බණ දහමට කන් දුන්නත්         මොකටද
වයිරය වපුරා ආසා පොදි                 බැඳ
සුමගට යන මග නැතිනම්           පිලිපැද

වස්තු කාමය නොව ගුණ දම් අගය කළ බුදුනට රන් වැට කුමටද?
මෙය බුදුන් වහන්සේට කරන නිගරුවක් නොවන්නේද?


රන් මිණි මුතු ආදිය          නොවටින්නේ
සොර බිය මර බිය එතැන      රැඳෙන්නේ
නිරතුරු සදහම් ගුණය             වටින්නේ
මෙලෙයසි දහමේ තතු       පැවසෙන්නේ


ඒ වුව කුමක්ද වෙලා            තියෙන්නේ
රන් වැට පුද බිම තුල       බැබලෙන්නේ
එහි වැඩි අගයක් ඇතැයි    හැෙඟන්නේ
සොර බිය එතැනට ලඟා    කෙරෙන්නේ


රන් වැටකට බොදු සිත්        ඇද ගන්නේ
තණ්හා ආසා ඉන්               වැඩි වන්නේ
බෝ සමිඳුන් හට ඉන්            උපදින්නේ
කුමන සෙතක් දැයි නැහැ   වැටහෙන්නේ


මිනිස් ගුණය නොව රන් මිණි       ආදී
අගේ කෙරුව දේවාගම්                වාදී
අඳ බැතියන් බුදු පිලිමය            බෝදී
රන් රුවනින් තිබුනා සකසා             දී


නිදන් හොරුන් බුදු පිලිම     කඩන්නේ
සිරස කඩා උදරය                හාරන්නේ
එහි තුල ඔය කී දේ        සොයමින්නේ
නැතිනම් අදටත් පිලිම      රැකෙන්නේ


දිවියේ මුලදී සැප සම්පත්           විඳ
බුදු මග වැටහී ආසාවන්              බිඳ
කණකර අබරණ විසිතුරු දේ  සොඳ
අත් හළ බුදුනට යලි එය        කුමටද

Sunday, March 25, 2012


බුදු සිරිත අගයමු

දෙදෙනෙකු මග තොට හමුවුන    විටෙකදි
මුහුණේ සිනහව නැහැ- එය       හොඳ මදි
උඩඟුව ඔරවන අයගෙන්           වෙයි හදි
බැලූ බැලූ හැම තැන අඩු වෙයි     අය ලැදි


දයාව කරුණා තෙත් ගුණයෙන්     යුතු
අත-හිත-උර දෙන අය වැඩි විය     යුතු
දැයකට සමගිය-සාමය- වෙයි        මුතු
දහම් දිවයිනක් වේවා              ඉස්මතු


සුමදුර බුදු බණ යනු කිමෙක්ද?
එය නැලවිලි දෙසුමක් නොවිය යුතුය


දහම් දෙසුම අද                   විලාසිතාවක්
ඇතැම් තැනෙක එය යස රඟ        පෑමක්
ඇසෙනා විට උපදවයි              හිනාවක්
කරගෙන ඇත බණ විහිලූ         කලාවක්


ඇදලා පැදලා දෙසන්නෙ      ඇයි බණ
සුමදුර බණ කිම වටහා        ගනු මැන
හරවත්- සදහම් රසයෙන්         අනූන
දෙසුමයි ගිහියන්ගේ සිත්       පිනවන


දේවාගම් පසුපස ගොස්       අනුවණ
කිරි දිය වත්කර බුදු රුව      නහවන
බුදු පුත් හිමියන් බුදු මග     කෙලසන
සැටියක් දුටුවා විගඩම්     දෝ මොන


අමුතු අමුතු නව වත් පිලිවෙත්       කොට
නොමගින් ගිහි හද ඇද බැඳ        ගන්නට
ගිහියන් මත් කොට ලොකු වියදම් කොට
රවටයි ගිහියන් යවමින්          නොමගට


බොරු බණ- බුදු බණ වෙනස නොදත්තේ
එනිසයි ගිහියන් රැුවටී               ඇත්තේ
ඇත්ත- නැත්ත- පිරිසිඳ දත          යුත්තේ
බොරුවට වැඩිකල් ආයුස         නැත්තේ


ලව්කික පැතුමන් ඉටු කර           ගන්නට
පුද පූජාවට මුල් තැන               දෙන්නට
බුදු මග සඟවා වසන්               කරන්නට
බුදු ගෙය දෙවොලක් නොකරනු අද හෙට


පිරිතේ ගැබ්වූ අරුත           නොදන්නේ
එය විමසන්නට තැත්     නොකරන්නේ
දුරලන්නට අපලය            මිනිසුන්නේ
දිවි මතුරක් සේ පිරිත         යොදන්නේ


එසේ නොකොට පිරිතේ ගැබ්වී         ඇති
සදහම් ගුණ මැනවින් දැන          ගැඹුරැති
මෙනෙහි කලොත් එම ගුණ කඳ   බලවති
පිරිතෙහි ගුණ ලද හැක මෙලෙසින්   නිති


මෙත් කරුණා සිල්වත් ගුණ    ඇත්නම්
පැවිදුනි කුමටද දිග දිග             පට්ටම්
ගිහියන් සදහම් මග ගෙන        යත්නම්
සැනසිය නොහැකිද අත හැර    පට්ටම්


හදවත ගිනිගත් අය ඔබ            හමුවට
ආවොත් යම් පිලිසරණක්     වෙන්නට
නුවණැස පාදා එගිනි           නිවන්නට
කළ හැකි හැම දේ කර     සනසන්නට


ඇවිලූනු හද ගිනි තව           අවුලන්නට
එපා අනුන් හට ගිනි ගෙඩි       දෙන්නට
දුක- දුකමයි වන අනුනට        හෝ මට
මෙසේ සිතා මෙත් සිත්       පතුරන්නට


නැති බැරි අය- ඇති හැකි අය     අතරට
එන විට දොරගුලූ ලා          වළකන්නට
එපා එපා එය නොහොබී      කෙනෙකුට
හැකි පමණින් පිලිසරණක්       වන්නට


දීමට ඔබ ලඟ නැති නම්          වත්කම්
ඒ වුව ඔබ හොඳ ගුණ යහපත්        නම්
ආදර කරුණාවෙන් සලකත්          නම්
හොඳ හිත- උපදෙස- උසස්ම    වත්කම්


පින් පව් මේ දෙක රැුඳී         තිබෙන්නේ
පිටතක නොව- හදවතේ          සිතන්නේ
සිතුවිලි අනුවයි යමක්         කෙරෙන්නේ
අනුනට- මට- යහපත පින          වන්නේ


මටත්- අනුනටත්-අයහපතක්             වන
කිසිවක් නොසිතනු-නොකරනු කිසි    දින
ඒවා පව් අකුසල් වශයෙන්               දැන
සිත-කය-වදනින් පව් නොකරනු     මැන


සතෙකුගෙ මස් රස කර වලඳන       විට
සිතනුය ආදීනව- එහි මුල               සිට
ඔබගෙන් අසරණ සතෙකුගෙ     දිවියට         
විපතක් වූ බව වැටහෙයි            සිහියට


එහෙනම් ඒ පව යලි         නොකරන්න
මින් පසු සතුනගෙ මස්          නුබුදින්න
දානය දෙන විට මස්        නොබෙදන්න
පර පණ නැසුමට ඉඩ       නොතබන්න

දහම් මග තුලින් දෙවියන් දැකිය හැක


තුන් වේලම බුදු පුද             තබමින්නේ
සැදැහැ සිතින් තෙරුවන්     නමදින්නේ
දාන සීල බාවනා                   වඩන්නේ
එයින් කුසල් සිත් නිති තර       වන්නේ


එසේ ලබා ගත් කුසලේ පින්          පෙත
අනුමෝදන් කරවනු දෙවියන්       වෙත
පින් පෙත් ලබනා දෙවියන් ඔබ    වෙත
විපතේදී පිහිටක් වේ සැක            නැත


බුදු මග ඔස්සේ දෙවියන්              දකිනට
හැක්කේ ඔය ලෙස බව දැන       ගන්නට
අප හැම කාටත් පෙනුනේ         නැතුවට
දෙවියන් වඩිතිලූ නිරතුරු          බුදු ගෙට


පැහැ බර සුවඳැති මල්     පුද මින්නේ
සුවඳ දුමින් බුදු හිමි       පුද  දෙන්නේ
පිරිතේ අනුහස මුසු       කර  මින්නේ
බුදු මැදුරම ආලෝක         කරන්නේ


බොදු බැති ගිහියෙනි නිති   මෙලෙසින්නේ
බුදු ගුණ ගයමින් බුදුන්              වන්නේ
යක්-බූ-පෙරේතයින් නොම         එන්නේ
සතුටින් ඉපිලී දෙවියො            වඩින්නේ


යන එන හැම තැනකදි     නොවරදවා
මනසින් සිත බුදු කුටියක්         කරවා
එහි තුල සදහම් ගුණ කඳ           පුරවා
විසුවොත් ඉන් දිවි මග ඔබ      දිනුවා


අනුවණ ගුණවත් අය අඳ         බැති වේ
ගුණ නැති නැණවත් අය      බිහිසුනු වේ
ගුණවත්-නැණවත් අයගෙන්    වැඩ වේ
ගුණ-නැණ දෙක සම බර විය    යුතු වේ


ගුණයෙන් සපිරුනු විට           සිල්වත් වේ
නැණවත් අය දැනුමින්           උගතුන් වේ
ගුණ-නැණ බල ඇත්තෝ නිති  මෙලොවේ
සැනසෙති-සුමගින් නිවනට        යොමුවේ

දුක හෝ සැප පිටතින් එන්නක් නොව
තමන් විසින්ම සිතේ ඇති කර ගන්නකි


වෙනත් කෙනෙකු යම් විටෙක   බණින විට
යහුලක් ඇනුනා මෙනි එය              සවනට
සැනෙකින් කෝපය පෙන්වන       එලි පිට
එපා වැටෙන්නට තිරිසන්              ගණයට


කෝපය- සෝකය පිටතින්       හිතකට
කා හටවත් බෑ දෙන්නට            හිතුවට
කෙනෙකු කියන දොස් දුරලා     ඉවතට
නෑසුනු ලෙස ඇයිදැයි බැරි       ඉන්නට


බාර නොගත් දොස ආපසු           යන්නේ
ඉන් ඔබෙ හදවත නොමැත   සැලෙන්නේ
බණින අයට මෙත් සිත්         පතුරන්නේ
මෙලෙසයි සුමගට ආ හැකි         වන්නේ


බණින විටෙක හතුරෙකු හා  ගැටුනොත්
බහින් බස්ව ඔබ දුරදිග          ගියහොත්
දහම් දැනුම ඔබ කොතරම්         ලදුවත්
පෙන්වයි නුපුරා ඇති බව       පිලිවෙත්