Sunday, March 25, 2012


සෙනෙහස-දයාව- නැති විට       හිත යට
සිනහවකින් බැහැ මුව          සරසන්නට
නොමිළේ දිය හැකි හිනාව    කෙනෙකුට
දෙන්නට බැරි අය සුළබයි      රට තොට


මෙත්-කරුණා ගුණ පුරුදු පුහුණු  කොට
නපුරු කුරිරු දෑඩි හදවත් තෙත්   කොට
සැබෑ සිනහ මතු කර මින්         මත්තට
සදහම් ගුණ දසතෙහි           පතුරන්නට


දුක් දොම්නස් යටපත් වන   මොහොතින්
රිදී වලා සේ දිස් වන                    ඈතින්
පිහිටක් වන්නට බැරි වුව              දෑතින්
සිනහවකින් කළ හැක එය  මොහොතින්


අනුනගෙ විපතෙදි සිනහ      නොවන්නට
සිනහවකින් හදවත්               සනසන්නට
සිනහව හද පතුලෙන් නැග          එන්නට
මෙත් කරුණා සිත් ඇති ඇති කර ගන්නට


අරමුණ ඉටු කර ගන්නට      ගෙනාව
මවා පාන බොරු චාටුව          හිනාව
නිරායාසයෙන් මතු වන          හිනාව
හඳුනා ගනු මැන මේ දෙක      මනාව


ලද සම්පත් විඳ ගනිමින්           සතොසේ
සරණක් වනු අන් අයටත්          හැකි සේ
තමනුත්-අනුනුත්-ඉන්නට           සැපසේ
වැඩ කළහොත්-දෙලොවට වැඩ   සැලසේ

No comments:

Post a Comment